“දිනක මරණය එනු නියතයි ”

Image
විශ්මිත න්‍යායකට අනුව නිර්මාණය කරන ලද විශ්වයෙහි අන් සියල්ල සේම මිනිසාද උපතින් “ඉස්ලාම්” ය. සර්ව බලධාරී අල්ලාහ්ගේ අණසකට යටත්ව උපන් ඔහුට රිසි පරිදි තමාගේ මාර්ගය තෝරා ගැනීමට ලබාදී ඇති නිදහස හේතුවෙන් ඉන්පසුව ඔහු ඊමාන්ධාරියකු හෝ කාෆිර්වරයෙකු (විශ්වාස කරන්නෙකු හෝ ප්‍රතික්ෂේප කරන්නෙකු) බවට පරිවර්තනය වේ. ඒ අනුව ඔහුගේ දෘෂ්ඨිය, සිතුවිලි, චර්යාවන් සහ පිළිවෙත් සියල්ල වෙනස් වේ. කෙසේ වූවද මෙලොව ජනිත කාෆිර් හෝ මුඃමින් වන සියල්ලන්ට පොදූවූ සත්‍යයක් සර්වඥානයෙන් යුතු මැවුම්කරුවා විසින් නියමකර ඇත. එය අන් කිසිවක් නොව සැකයකින් තොරව දිනෙක අප වෙත සමීපවන “මරණය” යි.

මරණය මෙලොව සියල්ලගේ අවසානය බව අල්ලාහුතආලා ශුද්ධවූ කුර්ආනයේ මෙසේ සඳහන් කරයි.

“සියළු ජීවීන් මරණය භුක්ති විදින්නෝය.”
යනුවෙන් සූරා ආල ඉම්රාන්හි 185 වන වාක්‍යයෙන්ද සූරා අර්රහ්මාන්හි 26 වන වාක්‍යයෙන්
“ලොවෙහි සියළු දැය නසන්නේය.”
යනුවෙන්ද දන්වා සිටියි. එමෙන්ම ලොව කිසිදූ ජීවියෙකුට හෝ කිසිදූ වස්තුවකට මෙලොව අමරණීයත්වයක් හිමි නොවන බැව් ද සර්ව බලධාරියාණන් විසින්
“නබිතුමනිණි, ඇත්තෙන්ම ඔබ මැරෙන්නෙහිය. ඔව්හුද මරණයට පත්වන්නේය.”
යනුවෙන් අස් zසුමූර් හි 30වන ආයතයෙන් පහදා දී ඇත.

වර්තමානයේ හෝ අනාගතයේ මෙලොව ජීවත්වන සියල්ලට සේම පෙර ජීවත්වූ සමූහයා වෙතද අමරණීයත්වය හිමි නොවූ බවද ශුද්ධ දේව ග්‍රන්ථයේ

“ඔබට පෙර කිසිම මනුෂ්‍යයෙකුට අමරණීයත්වය නුදූන්නෙමු.”
යනුවෙන් අල් අන්බියාඋ හි 34 වන වැකියෙන් මිනිස් සමාජයට දන්වා සිටියි.

මරණයේ පැමිණීම නොවේනම් “මරණය” පිළිබඳ සැකයක් සිත්හි තබා ගැනීමට අවකාශයක් හෝ නිශ්චිත වූ කරුණක් නොමැත. නමුදූ වර්තමාන මිනිසා දිවි ගෙවන්නේ මරණයක් පිළිබඳ සිතක් හෝ මතකයක සේයාවක් හෝ සිත්හි ඇති අයුරින් නොවේ. මෙලොව දිවිය කෙරෙහි දැඩි ආශාවන්ගෙන් යුක්තව ඒවා මුදූන්පත් කර ගැනීමට වේගවත් ගමනක යෙදෙන මිනිසා මරණය පිළිබඳ අමතක කර ඇති සේය. එහෙත් මුඃමින්වරයෙකු පරලොව දිවිය සඳහා පෙර සූදානමක් සේම මරණය පිළිබඳ අධිකව සිහිකළ යුතු මෙන්ම එයට මුහුණදීම සඳහා සූදානම් වීමද අවැසිය.

“අවස්ථා පහකට පෙර අවස්ථා පහක් ප්‍රයෝජනවත් කරන්න. ඔබේ මරණයට පෙර ජීවිත කාලයද, ලෙඩවීමට පෙර නීරෝගි කාලයද, කාර්යය බහුල වීමට පෙර විවේක කාලයද, මහළු වීමට පෙර තරුණ කාලයද, දිළිඳූ වීමට පෙර ධනයද, ප්‍රයෝජනවත් කරන්න.” යනුවෙන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා පවසා ඇත.

යම් දිනෙක ප්‍රාණය නිරුද්ධ සිරුර සමඟ කිසිවක් මිනීවල (කබ්ර්) වෙත රැගෙන යනු නොලබයි. එහෙත් මෙලොවේදී දිවි ඇති තෙක් සිදූකල අබ ඇටයක් තරම්වූ කුසල් අකුසල් වූවද ඔහු සමඟ නිබඳ රැදේ. එමනිසාවෙන් පරලොව හා මරණය පිළිබඳ සිහිකරමින් අල්ලාහ්ගේ අනුමැතිය ලද නිවැරදි ක්‍රියාවන්හි නිරතවීමට අප නිරතුරුව ප්‍රයත්න දැරිය යුතුය.
එමෙන්ම ගුප්ත ඥාණය අල්ලාහ් සතු මහත් බලයකි. එමනිසා මෙලොව ජනිත ජීවියකුගේ ආයු කාලයණ, ඔහුගේ අනාගතය සියල්ල දන්නේ සර්ව බලධාරියාණන් පමණි. මිනිසාගේ ආයුෂ කාලය, ඔහු මිය යන්නේ කෙසේද, කවර ස්ථානයකදීද , කවර හේතුවක් නිසාවෙන් ද යන කරුණු අල්ලාහ් පමණක් දැන සිටින සහ මිනිස් ඥාණ පරාසයට ගෝචර නොවන කරුණු වේ.

මරණය පිළිබඳ තවදූරටත් කතිකාවකට බඳූන් කරන කල්හි මරණයට බාධා පමුණුවන්නට කිසිදූ ජගතෙකුට හෝ නොහැකි බැව් අපට ගම්‍ය වේ. එය සත්‍යයකි. මරණය පමා කිරීම හෝ මගහැරීම කිසිවකුට කළ හැක්කක් නොවේ.

“සෑම ජන සමාජයකටම නියමිත කාලයක් ඇත” ඔවුන්ගේ නියමිත කාලසීමාව පැමිණියහොත් ඔවුන්ට එක් නිමේෂයකින්වත් පමා වීමට හෝ ඉක්මන්වීමට නොහැකිය.” (සූරා අඃරාෆ්- 34)

යනුවෙන් සර්ව අධිපති අල්ලාහ් පරම පවිත්‍ර දේව ගරුණන්ථයේ අඃරාෆ් හි 34 වන ශුද්ධ වැකියෙන් මරණයට අභියෝග කිරීමට කිසිවකුට ශක්තියක් නොමැති බව ස්ථිර කරයි.

අප වෙත මෙලොව දිවිය ප්‍රදානය කරන ලද්දේ සදාකාලික වූ පරලොව දිවිය වෙනුවෙන් යමක් තමන් සතුකර ගැනීමට බැව් අපි විශ්වාස කරමු. එසේ මෙලොව දී තමා වෙත සමීප කර ගත් දෑ අනුව මරණය ද්විත්ව ස්වභාවයකින් අපවෙත පැමිණේ. කෙසේ ද යත් අල්ලාහුතආලා එකම දෙවියන් යැයි පිළිගෙන ඔහුගේ අණසකට යටත්ව මුඃමින්වරයෙකු ලෙස මෙලොව දිවිගෙවු විශ්වාසවන්තයා වෙත මරණය සිදූවන මොහොතේ මලකුල් මව්ත් හෙවත් ඉස්රාඊල් (අලෛ) නම් මලාඉකාවරයා සුන්දර වූ මිහිරි ස්වරූපයකින් ඔහු වෙත පැමිණෙන බවත් ඔහු සමඟින් ස්වර්ගය පිළිබඳ සුභ ආරංචි පතමින් කරුණාබරිත මලාඉකාවරුන් පැමිණෙන බවද සඳහන් කරයි.

“ඇත්තෙන්ම අප දෙවියා අල්ලාහ් බවට පවසා එහි සෘජුව සිටින්නේද ඔබලා බිය නොවන්න. කණගාටු නොවන්න. ඔබලාට පොරොන්දූ වූ ස්වර්ගය ගැන සුභාරංචිය ලබන්න” යැයි පවසමින් ඔවුන් වෙත මලක්වරු පහළ වේ.” අස්සජදා සූරාවෙහි 30වන වාකයනනයෙන් අල්ලාහ් මානව සමාජයට ඒ පුවත සිහිපත් කර සිටියි.

එමෙන්ම කාෆිර් හෙවත් ප්‍රතික්ෂේප කරන්නෙකු මිය යන අවස්ථාවේ ඉස්රාඊල් මලාඉකාවරයා දූර්ගන්ධය හමන ඇඳූම් පැළඳූම් ඇඳ බිය උපදවන සුළු ස්වරූපයකින් පැමිණෙන බවත් වේදනාව පිළිබඳ අවවාද කරන මලාඉකාවරුන් ද පැමිණෙන බව “අපරාධකරුවන් මරණාසන්නව සිටින මොහොතේ මලක්වරු ඔවුන් වෙත අත් දිගුකොට ඔබලාගේ පණ නල බැහැර කරන්න. අල්ලාහ් ගැන අපහාස කියමින් හුන් හෙයින්ද ඔවුන්ගේ ආයාත් , අණ පනත්, සාක්ෂීන් විශ්වාස නොකර උඩඟු වී සිටි හෙයින්ද අද දින ඔබලාට නින්දනීය වූ දඩුවම ඵල විපාක වශයෙන් දෙන ලද්දේය.”

යනුවෙන් ඒ පිළිබඳ සූරා අන්ආම් හි 93වන වාක්‍යයෙන් යළි යළිත් අවධාරණය කරයි.

උක්ත කරුණු ගත්කළ මරණය සිදූවන අවස්ථාවේ සත්‍ය අසත්‍ය හෙළිදරව් වන බවත් එකිනෙකාට සියල්ල පසක් වන බවත් පැහැදිළි වේ. මේ පිළිබඳවද අල්ලාහ්තආලා ශුද්ධ කුර්ආනයේ දන්වා ඇත.

“ඔවුන්ගෙන් කෙනෙකුට මරණය පැමිණෙන කල්හි මහිමියෙනි මා අත්හල දෙයින් මට යහකම් කිරීමට හැකිවන සේ මා හරවා එවන්න යැයි ඔහු කියන්නේය. ආපසු එවීමක් නැත. පුනරුත්ථාපනය කරනු ලබන දින තෙක් ඔවුන් ඉදිරිපසින් ආවරණයකි.” (අල් මුඋමිනුන් – 99/100)

“අපරාධකරුවන් දඩුවම දූටු කල්හි ලොවට ආපසු පැමිණීමට මාර්ගයක් ඇත්තේ දැයි ඔවුන් කියනු නුඹ දකින්නෙහිය.”

යනුවෙන් අෂ්ෂුරාහි 44 වන ආයතයෙන් පවසයි. මරණය පැමිණෙන කල්හි ප්‍රතික්ෂේප කරන්නා වේදනාවෙන් මිදී කුසල් ක්‍රියාවන්හි නිරතවීමට මෙලොවට නැවත පැමිණීමට අපේක්ෂා කරන අතර මෙලොව මග හැරීම් අතපසු වීම් හා කළ පාපී ක්‍රියාවන් පිළිබඳ පසුතැ විලි වීමෙන් එම මොහොතේ ඵලක් නොවන බව ඉහත ආයතයෙන් පැහැදිළි වේ.

මෙකී කරුණු සියල්ල මගින් විශ්වයේ මැවුම්කරු අප වෙත දන්වා සිටින්නේ අන් කිසිවක් නොව මරණය සිහිකර අනුමත යහපත් ක්‍රියාවන්හි නිරතව සදාකාලික වූ පරලොව දිවියට සූදානම් වන ලෙසය. අවස්ථා පැහැර හැර මෙලොව දිවියේ සුඛ විහරණය පමණක් තකා හොඳ නොහොඳ නොදන් නා සේ කටයුතු කර මරණය අභියස අසරණවීමට නොව මරණයෙන් පසු දිවියේ යහපත උදෙසා ක්‍රියා කිරීමට අවශ්‍ය බව තරයේ සිතා කටයුතු කළ යුතු නොවේද..?

තවද මරණය පැමිණ මෙලොව දිවියේ අවසානය හඟවන මොහොතේ මිනිසකුගේ අවසන් වදන “ලාඉලාහ ඉල්ලල්ලාහ්” වේද ඔහු වෙත පරම දයාබර අල්ලාහ්ගේ කරුණාවෙන් ස්වර්ගයට ප්‍රවිශ්ඨ වීමේ භාග්‍ය හිමිවන බැව් අපි විශ්වාස කරන්නෙමු. ඒ පිළිබඳ අල්ලාහ්ගේ අවසන් රසූල් මුහම්මද් (සල්) තුමා “මෙලොවෙහි කවරකුගේ අවසාන පරසගකාශය ලාඉලාහ ඉල්ලල්ලාහ් (නැමදූමට සුදූස්සෙකු නොමෙත අල්ලාහ් හැර) යනුවෙන් වේද ඔහුට ස්වර්ගය හිමිවේ. (අබු දාවුද්) යනුවෙන් පවසා ඇත. එහෙත් චිත්ත පරිශුද්ධත්වයෙන් යුතු වූවකුට හැර මරණය අභියස දී අන් අයකුට මෙවදන් මුවට නැඟෙන්නේ නැත. සිතෙහි පවිත්‍ර බවින් තොර වන්නා මරණය ඉදිරියේ කලබලකාරීව මුහුණ දීමට සිදූවන වේදනාවෙන් පසුවන බැවින් මෙම කලිමාව (අල්ලාහ්ට අවනතවීමේ සහතිකය) පැවසීම මග හැරෙයි. එමනිසා එම අවස්ථාවේ කලිමාව ඔහු වෙත සිහිපත්කර දීම වටී.
සියල්ල එකිනෙකට බැදී ගියාවු සම්බන්ධතාවයකින් යුක්තව කිසිදූ පරස්පරයකින් තොරව විශ්වයේ ඉතා කුඩා අංශුවක සිට සියල්ල නිමවු නිමැවුම් කරුවාණන්, අල්ලාහ්තආලා මෙලොව සියල්ලට ස්ථිර කල “මරණය”ට මුහුණ දීම විනා අන් කිසිවක් කිරීමට අපට අවකාශයක් නොමැති බව මින් පසක්වේ. එහෙත් ලද අවසරයෙන් මෙලොවත පරලොවෙහි වගාබිම බවට පත් කර අල්ලාහ්ගේ අනුමැතියට යටත්ව කටයුතු කර මරණයට නොබියව මුහුණ දීමට අපට සූදානම් විය හැක.
මරණය අභියස වේදනාවෙන් ලතවෙත මිනිසුන් අතර එයට සතුටින් මුහුණ දෙන චිත්ත පාරිශුද්ධියෙන් යුතු පුද්ගලයෙක්ව කලිමා පැවසීමට අපහට සූදානම් විය හැක. මන්දයත් ලොවම “ඉස්ලාම්” දරුණුතම ආගමක් යැයි පැවසුවද සැබවින්ම එහි සියළු ප්‍රතිපදාවන් ස්ථාපිතව ඇත්තේ මුඃමින්වරයෙකුගේ ගිණුමට අසීරුවකින් තොරව පින් බැරවන පරිදි මිස ඔහුගේ වරප්‍රසාද කප්පාදූ වන පරිදි නොවන නිසාය.
එසේනම් ආදරණීය සොයුරු සොයුරියණී “ඉස්ලාම්” ධර්මයට අනුගතව යම් දිනෙක ස්වර්ගයේ සුවදෙහි ආශ්වාදය ලබන්නට අවැසිනම් අල්ලාහ්ගේ මග පියවර තබා යහ ක්‍රියාවන් ඉටුකර මරණයට අභියෝග කරන්නට නොව මරණය ජය ගන්නට අප අදිටන් කරගතයුතු නොවේද ?

ඉන්ෂා අල්ලාහ්… නියතවශයෙන්ම දිනෙක පැමණෙන “මරණය” සියළු දෙනා වෙත ස්වර්ගයේ සුභාරංචිය ගෙනේවා…!!!

ඉන්ෂා අල්ලාහ්…. අදිටන් කරගන්න ….
“දිනෙක ඔබ මුස්ලිම්ව මිස අන් අයුරකින් මිය නොයන්න…!!!” (සූරා ආල ඉම්රාන් – 102)

About Islam Sinhalen

Islam is much more than a formal religion: it is an integral way of life.In many ways it is a more a determining factor in the experience of its followers than any other world religion. The Muslim ("One who submits") lives face to face with God at all times and will introduce no separation between his life and his religion, his politics and his faith. With its strong emphasis on the brotherhood of men cooperating to fulfill the will of God.

Posted on May 25, 2013, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a comment