Monthly Archives: December 2012

“අවනතවීම හරහා ශාන්තිය – 1 කොටස”

                                               “අවනතවීම හරහා ශාන්තිය – 1 කොටස”
Image
ඉස්ලාම් දහම පිළිබද බොහෝ අය අර්ථ දක්වන්නේ එය “දෙවියන් නැමදීමේ මාර්ගයක්” ලෙසටය. එහෙත් සැබැවින්ම ඉස්ලාමය යනු අතිශය ස්වාභාවික වූ ජීවන මාර්ගයකි. සරල ජීවන ප්‍රතිපදාවකි. මෙම ප්‍රතිපදාවට අනුගත වන්නා මුස්ලිම්වරයෙකු වේ. මිනිසකු වුවද සත්ත්වයෙකු , ග්‍රහ වස්තූන් හෝ තාරකා වුවද අන් යමක් වුවද මෙම ප්‍රතිපදාවට අනුගත වන්නේ නම් එයද මෙයට අන්තර්ගතය. අභ්‍යන්තර හා බාහිර ශාන්තියකින් සිටීමට ඇති එකම මාර්ගය මෙය වේ.
ග්‍රහලෝක එයට නියමිත කක්ෂයේ ගමන් කරයි. ගස් වැල් ඒවාට සුවිශේෂී වූ ක්‍රමයකට වැඩෙයි. එහෙත් ‍මෙකී එකිනෙකට අනන්‍යය වූ ක්‍රමය එකී ද්‍රව්‍යයට කරදරකාරී වන්නේ නම් එහි ශාන්තියක් ඇති නොවේ. එම ක්‍රමවේදයන් එකී ද්‍රව්‍යයට කරදරකාරී වනවා යනු ඒ ක්‍රමවේදයන් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ බවය. එනිසා මුස්ලිම්වරයා යනු තමාගේ කැමැත්ත අල්ලාහ්ගේ කැමැත්තට අවනත කිරීම තුළින් බාහිර හා අභ්‍යන්තර ශාන්තිය අත්කර ගන්නා තැනැත්තා වේ.

අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ සදහන් කරයි.

“(මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නෙකු වේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලො‍වදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ.” (සූරා ආල ඉම්රාන් : 85)

“විශ්වාසවන්තයිනි මුළුමනින්ම ඉස්ලාමයට පිවිසෙන්න. ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නොකරන්න. ඔහු නුඹලාගේ ප්‍රකට සතුරාය.” (සූරා බකරා : 208) “නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කල අයද ප්‍රතික්ෂේප කරන්නන් ලෙස මියගිය අයද ඔවුනට අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේද සකල මනුෂ්‍ය වර්ගයාගේද ශාපය ඇත.” (සූරා බකරා : 161)

මෙලෙස අල්ලාහ්ගේ කැමැත්තට අවනත වන ලෙස අල් කුර්ආනය ඔස්සේ අල්ලාහ් විසින් පැහැදිලිව දන්වා සිටී. එසේ අවනත වන්නේ කෙසේද යන්නද දන්වා සිටී. ස්වාභාව ධර්යේ නීතියට විරුද්ධ නොවන්නේ නම් හා අප එයටද ඉහළින් කටයුතු නොකරන්නේ නම් (මහුගේ අභිලාෂයන්ට හා කල්පනා ශක්තියට අනුව ක්‍රියා කිරීමෙන් වැලකී) ඔහුට අල්ලාහ්ගේ කැමැත්තට යටත්වූවෙකු විය හැක.

නියමිත වේලාවට අල්ලාහ්ගේ අණ ඉටු කරමින් අල්ලාහ් සමග සම්බන්ධතාව ගොඩනගා ගැනීමේ ගිවිසුම මත අල්ලාහ් විසින් අපට මෙලොව දිවිය ලබා දී ඇත. මෙලෙස මෙම ගිවිසුමෙහි අපගේ පාර්ශවයේ කටයුතු අප නියමාකාරව ඉටු කරන්නේද අල්ලාහ් ද මෙම ගිවිසුමෙහි අල්ලාහ්ට හිමි කොටස නිසි ලෙස පවත්වාගෙන යනු ඇත. සැබැවින්ම මෙකී ගිවිසුම කුමක්ද?

අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ සදහන් කරයි.

“ ’ඇත්තෙන්ම මම ඔබලා සමගය’ යි අල්ලාහ් කීවේය. ඔබලා සලාත්හි නිරතව සකාත්දී මාගේ රසුල්වරයන් විශ්වාස කර ඔවුනට උදව් කර අල්ලාහ්ට හොද ණයක්ද දුනහොත් ඇත්තෙන්ම, මම ඔබලා වෙතින් ඔබලාගේ පාපයන් මකා දමන්නෙමි. තවද යටින් ගලා බසින ගංගාවන්ගෙන් යුත් ජන්නාවෙහි ඔබලා ඇතුළු කරවන්නෙමි. ඔබලාගෙන් යමෙක් මින් පසුද ප්‍රතික්ෂේප කරන්නේ නම් ඇත්තෙන්ම, ඔහු යහමගෙන් අයහපත් මාර්ගයෙහිය.” (සූරා මායිදා : 12)

 

“නුඹලාගේ මුහුණු නැගෙනහිර හෝ බස්නාහිර දෙසට හැරවීම (පමණක්) යහකම නොවේ. එහෙත් යහකම නම් අල්ලාහ් ගැනද අවසාන දිනය ගැනද මලක්වරු ගැනද ධර්ම ග්‍රන්ථ ගැනද නබිවරුන් ගැනද විශ්වාස කර ඔහු (අල්ලාහ්) කෙරෙහි වූ ඇල්ම නිසා දේපල නෑදෑයින්ටද අනාථයින්ටද දිළින්දන්ටද මගීන්ටද යාචකයින්ටද වහලුන් මුදවා ගැනීමටද වැය කර සලාත්හි නිරතව සකාත් ගෙවීමද වේ. තවද ඔවුහු පොරොන්දු වූ විට තම පොරොන්දු ඉටු කරන දුෂ්කරතාවන්හිදීද දිළිදු බවේදීද (සත්‍ය හා අසත්‍ය අතර ) සටනේදීද ඉවසිලිමත් වන්නෝ වෙති. තවද බිය බැතිමත් වූ අයද ඔවුහුමය.” (සූරා බකරා : 177)

අපගේ කැමැත්ත දෙවියන්ගේ කැමැත්තට යටත් කරන ලෙස අල්ලාහ් විසින් අපට නියම කරයි.

“ඔබගේ දෙවියන් එකම දෙවියෙක්ය. එහෙයින් ඔහුටම අවනත වන්න. බැගෑපත්ව අවනත වන්නන්ට ශුභාරංචිය දෙන්න.” (සූරා අල් හජ් : 34) “යම් කෙනෙක් දහමෙහි හැසිරෙමින් තම මුහුණ අල්ලාහ් වෙත අවනත කර ඉබ්රාහීම්ගේ මාර්ගය අනුගමනය කරන්නේද ඒ අයට වඩා මාර්ගයෙන් උසස් අය කවරහුද? අල්ලාහ් ඉබ්රාහීම් යහලුවෙකු ලෙස ගත්තේය.’ (සූරා අන්නිසා : 125)

මින් ඉදිරියට අප පරීක්ෂා කල යුතු වන්නේ අල්ලාහ්ගේ කැමැත්තට යටත්වීම ඔස්සේ අපගේ ගමන්මග වෙත කුමක් පැමිණෙන්නේද කුමක් අප‍ වෙතින් ඉවත්ව යන්නේද යන්න පිළිබදවය. මෙලොව දිවියේ ආකර්ෂණීය බව එයයි. මෙලොව දිවිය පිළිබද අල් කුර්ආනයේ මෙලෙස සදහන් වේ.

“කුමක්ද මෙලොව ජීවිතය, සෙල්ලමක්ද? විනෝද වීමක්ද? එසේ හෙයින් භක්තිවන්තයාට අන්තිම දින ඉතා හොදය. නුඹලා වටහා නොගන්නේද?” (සූරා අන්ආම් : 32) “කාෆිර් (ප්‍රතික්ෂේප කරන්නන්ට) ලෞකික ජීවිතය චිත්තාකර්ශන බවට පත් කරනු ලැබ ඇත. (එබැවින්) ඔවුහු විශ්වාසවන්තයින්ට සරදම් කරති. එහෙත් (අල්ලාහ්ට) අවනත වන අයගේ (තත්ත්වය) මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ ඔවුනට වඩා ඉහළය. තවද අල්ලාහ් තමාට අභිමත වූ කවරෙකුට වුවද අප්‍රමාණ ලෙස (භෝග සම්පත්) පිරිනමයි.” (සූරා බකරා : 212)

“ඔවුන්ගේ මාර්ගය කෙළියක්වද විනෝදයක්වද ගත් අය හැර දමන්න. මෙලොව (සුලු) ජීවිතය ඔවුන් රැවටුවෝය. තමා සපයා ගත් දැය හේතුකොට ගෙන විනාශයට පත් නොවන පිණිස එයින් (අල් කුර්ආනයෙන්) නුඹ (මිනිසුනට) උපදෙස් දෙන්න. අල්ලාහ් හැර එයට ආරක්ෂකයෙක් හෝ උදව්කාරයෙක් හෝ නැත. සියළුම වන්දියෙන් වන්දි ගෙව්වත් එය භාර නොගනු ලැබේ. ඔහුමය ඔවුන් සපයාගත් දැය හේතුකොට ගෙන විනාශ කරනු ලබන්නෝ. ඔවුන් විශ්වාස නොකල නිසා ඔවුන්ට ලෝ දියෙන් පැන්ද වේදනීය දඩුවමද වේ. ” (සූරා අන්ආම් : 70)

“ඔවුහු ඔවුන්ගේ සත්‍ය මාර්ගය අනර්ථයකටද විනෝදයකටද ගත්තෝය. අධම වූ මෙලොව ජීවිතය ඔවුන් රැවැට්ටුවේය. අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කලාක් මෙන්ද ඔවුන්ගේ මෙදින හමුවීම ඔවුන් අමතක කලාක් මෙන්ද අද දින අපි ඔවුන් අමතක කරන්නෙමු.” (සූරා අල් අඅරාෆ් : 51)

මෙලෙස බලන කල මෙලොව දිවිය විනෝදවීමට හෝ ආකරෂණය කරගත යුතු හෝ වස්තුව රැස්කිරීමට හෝ නොවන අතර මෙලොව දිවියට එතරම් වටිනාකමක් හෝ හරයක්ද නොමැති බව පැහැදිලි වේ.
එසේනම්

“හරබර වන්නේ කුමක්ද? වටිනාකමක් ඇත්තේ කුමකටද? “

ඒ පිළිබද කතිකාවතට මීළග ලිපියෙන් මුල පුරමු. ඉන්ෂා අල්ලාහ්….

“ මුස්ලිම්වරුනි , අබුතාලිබ්ලා අමතක නොකරන්න.”

“ මුස්ලිම්වරුනි , අබුතාලිබ්ලා අමතක නොකරන්න.”
Image
ඉස්ලාමීය ඉතිහාසයට විවිධ වර්ණ මතක සටහන් එක් කරමින් කාලය ගෙවී ගියද අබුතාලිබ් යනු සැබෑ මුස්ලිම්වරයෙකුගේ සිතෙහි සනිටුහන් වූ සදාදරණීය චරිතයකි. සැබැවින්ම එකී චරිතය මුස්ලිම් ඉතිහාසය රනින් සරසාලූ අග්‍රග

න්‍ය චරිතයකි.අබුතාලිබ් තුමාතුමා යනු අල්ලාහ්ගේ අවසන් නබිවරයා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගේ ලොකු පියා හෙවත් මහප්පාය. මා පිය සෙනෙහස අහිමිවූ මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාට තුමාට සෙනෙහස දෙමින් එතුමා රැකබලා ගනු ලැබුවේ අබුතාලිබ් තුමා විසින්ය.

එකල මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාතුමා ප්‍රසිද්ධියේ ධර්ම ප්‍රචාරය අරඹා තිබූ යුගයත් ඉස්ලාමය වැළදගත් සහෝදර සහෝදරියන්ගේ ක්‍රියාකලාපය දුටු තත්කාලීන අරාබි ජනයා ඉස්ලාමයට පිවිසීමටත් උත්සුකවූ යුගයකි. එහෙයින් ඉස්ලාම් විරෝධී අරාබිවරුන්ට ඉස්ලාමයේ ව්‍යාප්තිය නවතාලන්නට අවශ්‍යව තිබිණ . ඔවුහු ඒ සදහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවද ඒවායින් ඵලක් නොවූ විට ඔවුන් අබුතාලිබ් තුමා හමුවීමට තීරණය කළේය.

අබුතාලිබ් තුමා තම සහෝදරයාගේ පුතුට රැකවරණය දීම වැළැක්වීම ඔස්සේ රසුල් (සල්ලල්ලාහු සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා අඩපණ කිරීමට සිතූ විරුද්ධවාදීන්ගේ ප්‍රථම කණ්ඩායම ලෙස රබීආ‍ගේ පුත් උත්බා සහා අබු ජහ්ල්ගේ පුත් ෂයිබා යනාදීන්ගෙන් සැදුම්ලත් පිරිසක් අබුතාලිබ් තුමා හමුවට ගියහ. තමා රැකවරණය දෙන සහෝදරයාගේ පුතා විසින් ඔවුන්ගේ දහමට නිගා කරනු ලබන බවත් ඔබ ඔහු වැලැක්විය යුතු බවත් ඔබ එසේ කරන්නේ නම් ඔබට අප සියල්ලන් සිටින බවත් පැවසීය. මේ සියල්ල අසා සියළු දෙන අස්වසා ආපසු යවන ලද අබුතාලිබ් තුමාට දෙවන වරද ඉස්ලාම් විරෝධීන් කාණ්ඩයක් පැමිණි අතර මෙකී පිරිස විසින් අබුතාලිබ් තුමාට සමාජය තුළ ඇති ගෞරවයද හීන වී යන අතර මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගේ ක්‍රියාවන් නොවළක්වන්නේ නම් අබුතාලිබ් තුමාට හා මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාට විරුද්ධව සටන් වදින බව ද පවසා සිටියේය.

මුහුණ පෑමට සිදුවන තත්ත්වය දිනෙන් දින දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය වන බව වටහා ගත් අබුතාලිබ් තුමා දිනක් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා තමාවෙත කැදවා පවතින තත්ත්වය පිළිබදව තේරුම් කර දෙන්නට විය. සියලු ගෝත්‍රිකයන් තමා සමග අමනාපකරමින් තමන් අසීරු තත්ත්වයකට පත් නොකරන මෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඉර සද දෑතට දුන්නද ‍තම කටයුතු අත් නොහිටුවන බව මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා විසින් තරයේ පවසා සිටි බැවින් එය ඇසූ අබුතාලිබ් තුමා “එ‍සේනම් ඔබ කැමැත්තක් දේශනා කරන්න. මම කිසිදු කරුණක් හේතුවෙන් ඔබව පවා නොදෙන්නෙමි.” යනුවෙන් පෙරළා පිළිතුරු දුන්නේය.

මෙකී වදන ඉස්ලාම් දහමේ ස්වර්ණමය සන්ධිස්ථානයකි. අනතුරුව අබුතාලිබ් තුමා නිතර නිතර ගෝත්‍රිකයන් කැදවා සාමකාමී වාතාවරණයක් ගොඩ නගන්නට උත්සාහ දැරීය.
කිසිදු අවස්ථාවක මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා හැර නොගිය අබුතාලිබ් තුමා මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාට සෑම අවස්ථාවකම සිටි ශක්තිමත් අත්වැලක් විය. සමාජයෙන් එල්ලවන ප්‍රශ්න කිසි විටෙකත් නොතකා එතුමා තම සහෝදරයාගේ පුතුට අත්වැලක් විය.

වර්ථමානයද මුස්ලිම්වරුන් පසු කරමින් සිටිනුයේ තරමක කටුක කාල සීමාවකි. මෙකලද එදා අරාබිකරයේ මෙන් මුස්ලිම්වරුන් වෙත අන්‍ය ආගමිකයින්ගෙන් එල්ලවන බලපෑම් අති විශාලය. එහෙත් මෙහිදී සදහන් කල යුතු යමක් ඇත. එනම් මෙසේ බලපෑම් එල්ල කරනු ලබන්නේ අන්‍ය ආගමිකයින්ගෙන් බහුතරය නොව සීමිත ප්‍රමාණයකි. ඒ බැව් මුස්ලිම්වරුන්ද සිහියේ තබාගත යුතුය.

කෙසේ වුවද මේ සියළු බාධා මැද මිනිස්කමින් මුස්ලිම්වරුන්ගේ රැකවරණය උදෙසා හැකි උපරිමයෙන් කටයුතු කරන අන්‍යාගමික පිරිස්ද නැතුවා නොව. ඔවුන් මුස්ලිම්වරුන් වෙනුවෙන් මහත් සේවයක් ඉටු කරමින් සිටිති. ඇතැම් නොමිනිසුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් අප කිසි විටෙකත් මෙකී සේවය පහත් අයුරින් සැලකීම නොකල යුතුය.

ධර්ම ප්‍රචාරය ඇරඹූ දින සිට දස වසරක් පුරා සමාජයේ විවිධ ගැටළු වලට මුහුණ දෙමින්ද මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාට යෝධ ශක්තියක් වෙමින්ද ඉස්ලාමයේ ව්‍යාප්තියට දිරි දුන් එහෙත් කිසි දින තම ආගම අතහැර ඉස්ලාමය වැළද නොගත් අබුතාලිබ් තුමා සැබැවින්ම ඉස්ලාමීය ඉතිහාසයේ වීර චරිතයකි.

වර්ථමානයේද මුස්ලිම්වරුන්ට රැකවරණය , සහගෝගය දෙමින් හැකි අයුරින් ඔවුන්ට ශක්තියක් වන අපේ කාලයේ හෘදයාංගම මිනිසුනි ! මා ඔබද අබුතාලිබ්වරයෙකැයි යනුවෙන් සදහන් කරනුයේ ඔබගේ සේවයද එතරම් වටිනා නිසාවෙනි. ඔබද මුස්ලිම්වරුන්ගේ හදවත් වල සදා රැදෙන විරුවන්මය.

මුස්ලිම්වරුනි, ඔබද සමාජයේ සුළු පිරිසකගෙන් එල්ලවන තාඩන පීඩන හමුවේ සමස්ථ සමාජය දෙසම බියෙන් නොබලන්න. එදා මෙන්ම අදත් අපේ කාලයේ අබුතාලිබ්ලාද තවම අප සමග අවදියෙන් ඇත. කිසි දින කිසි විටෙක ඔවුන් අමතක නොකරන්න. ඔවුනටද පෙරළා මනුසත්කමේ දෑත් දිගු කරන්න.