Monthly Archives: August 2011

Wish you a Blessed EID

මුස්ලිම්වරයෙකු සතු යුතුකම්

මුස්ලිම්වරයෙකු සතු යුතුකම්

මෙය ප්‍රධානව කොටස් පහකට බෙදා දැක්විය හැක.
1. අල්ලාහ්තආලා වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම්
2. තමා උදෙසා තමන් විසින් ඉටුකලයුතු යුතුකම්
3. අන්‍යයන් වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම්
4. මානවයාගේ යහපත පිණිස පවතින සියළු සම්පත් වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම්
5. පරිසරය සහ සතුන් උදෙසා ඉටුකල යුතු යුතුකම්

මුස්ලිම්වරයෙකුගේ ක්‍රියාවන් අල්ලාහ්තආලා විසින් අනුමත කිරීමට තිබිය යුතු කොන්දේසි:

1. ඊමාන් : ඉස්ලාමීය විශ්වාසය පිළිබදව සියළු කරුණු සැකයකින් තොරව විශ්වාස කිරීම මෙයින් දැක්වේ.
2. ඉඛ්ලාස් : “ඉන්නමල් අ:මාලු බන් නිය්යාහ්” – යමෙකුගේ ක්‍රියාව විනිශ්චය වනුයේ ඔහුගේ හෝ ඇයගේ චේතනාව මතය. මේ අනුව මුස්ලිම්වරයෙකුගේ ක්‍රියාවන් අල්ලාහ්තආලා විසින් අනුමත කිරීමට පිවිතුරු චේතනාවෙන් එය ඉටුකිරීම අනිවාර්යය වේ.
3. ඉත්තිබා : සුන්නාහ්වට අනුකූලව (නබි (සල්) තුමා පෙන්වාදුන් ආකාරයට) ඉටු කල යුතුය.

ඉස්ලාම් සහ මුස්ලිම්වරයා යනු

ඉස්ලාම් යනු :

ඉස්ලාම් යන අරාබි පදය සාමය, සමාදානය,අවනතවීම , යටහත්වීම, හා කීකරැවීම ආදි වශයෙන් අර්ථ දැක්විය හැකි අතර එය “සල්මි හා ,සිල්මි” යන මුල් වචන වලින් බිහිවූවකි. ඉස්ලාම් ධර්මයට අනුව අර්ථ දැක්වීමේදී පරම දෙවියා වූ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන මුළුමනින්ම අවනතවීම හා මුහම්මද් (සල්) තුමා අල්ලාහ්ගේ අවසන් දූතයා බවව පිළිගැනීමත් ඉස්ලාම් වේ.

අල්ලාහ් ශුද්ධ කුර්ආනයේ ඉස්ලාම් ධර්මය පිළිබදව පවසන අයුරු:

إِنَّ الدِّينَ عِندَ اللَّهِ الْإِسْلَامُ – අල්ලාහ්ගේ සන්නිධානයේ ධර්මය ඉස්ලාමය. ( සූරා ආල ඉම්රාන් – 19)

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا – අද දින මම ඔබට ඔබගේ ධර්මය සම්පූර්ණ කළෙමි. මගේ ආශිර්වාදයද ඔබ වෙත ලබා දුන්නෙමි.ඔබගේ ධර්මය වශයෙන් ” ඉස්ලාම්”(මග) සතුටින් තෝරා දුනිමි. ( සූරා මායිදා – 3)

මුහම්මද් (සල්) තුමා මෙසේ පවසා ඇත.

“සෑම දරුවෙකුම ස්වාභාවික වශයෙන් අල්ලාහ්ට අවනතව උපත ලබයි. එහෙත් පසුව ඔහුගේ ‍දෙමවුපියන් විසින් ඔහු කිතුණුවෙකු හෝ යුදෙව්වෙකු හෝ ගින්නට වන්දනා කරන්නෙකු (මජුසිවරයෙකු) බවට පත් කරයි. ( සහීහ් අල් බුඛාරි හදීස් ග්‍රන්ථයෙන්)

මුස්ලිම්වරයෙකු යනු:

අල්ලාහ් තම එකම දෙවියන් බවත් මුහම්මද් (සල්) තුමා අල්ලාහ්ගේ අවසන් දූතයා බවත් පිළිගෙන කටයුතු කරන්නා මුස්ලිම්වරයෙකු වේ.